මුදුන්පත් වූ ආශාවක් : සටන් විරාම කාලයේ දී ඒ 9 හරහා යාපනයට කළ සංචාරය

මුදුන්පත් වූ ආශාවක් : සටන් විරාම කාලයේ දී ඒ 9 හරහා යාපනයට කළ සංචාරය

“සාමයේ සහ ආදරයේ පණිවිඩය උතුරට ගෙන යාම”

ගුවනින්, මුහුදින් හා වත්මන් ගොඩබිමින් (ඒ 9 මඟ ඔස්සේ) යාපනයට

යාපනයේ පලාලි හි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි පලාලි මූලික රෝහලේ සිටි යුධ හමුදා අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මම ගුවන් මගින් කිහිප වරක්ම යාපනයට ගොස් ඇත්තෙමි. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සහයවීම සඳහා මම මුහුදු මාර්ගයෙන් ද යාපනයට  ගොස් ඇත්තෙමි. එ‍‍නමුත් මම කිසි දිනෙක එනම්, යුද්ධයට පෙරදී වත් මහා මාර්ගයෙන් යාපනයට ගොස් නැත. වර්ෂ 1983 සිට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ඒ 9 නමින් හැඳින්වෙන යාපනයට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ විය නොහැකි විය. යාපනයේ වෙසෙන ජනතාවට නම් යාපනය අර්ධද්වීපයෙන් පිටතට ගමන් කිරීමට ‘කිලාලි මාර්ගය’ වැනි විකල්ප මාර්ග තිබෙන නමුත් මෙය බොහෝ ආකාරවලින් අනතුරුදායක වන අතර මම කිසි විටෙකත් ඒ ආකාරයට යාමට උත්සාහ නොකරමි.

එදිරිවාදීකම් අත්හිටුවීම

ගැටුම්කාර පාර්ශ්ව දෙක විසින් 2002 පෙබරවාරි මාසයේදී නෝර්වීජියානු තැරැව්කාර සටන් විරාම ගිවිසුම (CFA) අත්සන් කරනු ලැබීම ද්විපාර්ශ්වික එදිරිවාදීකම් නැවැත්වීමට හේතු විය. මෙය වන්නි ප්‍රදේශය හරහා යාපනය දෙසට යන ප්‍රධාන මාර්ගය වන ඒ 9 මඟ වව්නියාවෙන් ඔබ්බට විවෘත කර, දෙදිසාවට ම ගමන් කිරීමට මාර්ගය සකස් වීමක් විය. විවිධ සීමාවන්, බාධක, මුරපොලවල් සහ දේශ සීමා මායිම් තිබුණ ද, යාපනය කරා යන මෙම මාර්ගයේ ගමන් කිරීම ආරක්ෂිත වන අතර, වන්නි “කොටි ප්‍රදේශය” හරහා සංචාරය කිරීමෙන් යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම කලාපයේ සිදුවෙමින් පවතින දේ දැක බලා ගැනීමට තිබූ හොඳම කාලය මෙය බව නිසැක ය. එබැවින් ඒ 9 මාර්ගය හරහා යාපනයට සංචාරය කිරීමට මට නැවත වරක් අවස්ථාව උදා කළ ආරාධනාව පිළිගැනීමට මට කිසිදු පැකිලීමක් නොවී ය.

කතෝලික පූජකතුමෙකුගේ සුහද ආරාධනය

ස්වර්ගස්ත ගරු ගිල්බර්ට් පෙරේරා (නි.ම.නි.) පියතුමා වනාහී මා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවය කරන කාලයේ එහි සිටි මීසම් සේවක පූජාප්‍රසාදීවරයා විය. එවකට අප දෙදෙනා ඉතා සමීප මිතුදමක් වර්ධනය කර ගත්තෙමු. කලකට පසුව මා පොළොන්නරුවෙන් ඉවත්ව ගිය අතර, ගරු ගිල්බර්ට් පියතුමාව ද පොළොන්නරුවේ සිට අනුරාධපුරයට මාරු කර යවමින් අනුරාධපුර රදගුරු පදවියේ තිබෙන “කරිටාස්” නම් කතෝලික ධර්මදූත සංවිධානයේ පදවි අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණි.

කරිටාස් – කතතෝලික ධර්මදූත සංවිධානය

  • මෙම ධර්මදූත සංවිධානය ක්‍රිස්තු වර්ෂ 1897  දී ජර්මානු ජාතිකයෙකු විසින් ආරම්භ කරන ලදි.
  • එය නම් කර ඇත්තේ ආදරය සහ දයාව යන අර්ථය ඇති ‘කරිටාස්’ යන ලතින් වචනයකිනි.
  • මෙහි අරමුණ වන්නේ මානව පවුල ආදරයෙන් ශක්තිමත් කිරීම, දුප්පත්කම තුරන් කිරීම, යුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම ය.
  • එය ලොව තිබෙන විශාලතම ආධාර හා සංවර්ධන නියෝජිතායතනයකි.

ගරු ගිල්බර්ට් පියතුමා යාපනයේ පිහිටි කරිටාස් හි රදගුරු පදවි අධ්‍යක්‍ෂවරයා සමඟ සාකච්ඡා කර යාපනයේ පවුල් කිහිපයක් සමඟ, පවුල තුළ ජීවත් වීමේ වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ යුද්ධයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ ආදරය, සාමය සහ සමාදානය ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණේ ජනතාව උතුරේ ජනතාව සමඟ සබඳතා පැවැත්වීම සහ ඔවුනොවුන් අතර මිත්‍රත්වයේ පාලම් ගොඩනඟා ගැනීමට සැලැස්වීම ය. යුද්ධයෙන් විනාශ වූ යාපනය බලා යන මෙම සාමය ඇති කිරීමේ දහම් ව්‍යාපාරයට අනුරාධපුරයේ කතෝලික මීසම්වාසීන් සැටදෙනෙකුගෙන් යුත් කණ්ඩායම හා සමඟ එක්වන ලෙස ගරු ගිල්බර්ට් පියතුමා මට ආරාධනාවක් කළේ ය. මම කිසිදු පැකිලීමකින් තොරව එම ආරාධනාව පිළිගත් අතර ගරු ගිල්බර්ට් පියතුමා ද ඒ් ගැන සතුටු විය.

යාපන දහම් සාම චාරිකාවට සූදානම

අපේ යාපන ගමන ගැන දැනුම් දීමෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අපේ මිතුරන් එහි පූර්ව කටයුතු සූදානම් කර තිබුණි. අපගේ ජාතික හැඳුනුම්පත් සමඟ පහත දැක්වෙන ලේඛනයේ ඡායා පිටපත් මෙන් ම යන වාහන දෙක සම්බන්ධ වැදගත් ලිපි ලේඛනවල පිටපත් ද රැගෙන එන ලෙස ඔවුන් විසින් අපට උපදෙස් දෙන ලදි.

ගමන් මාර්ගය – ඒ 9

 අනුරාධපුරයේ සිට යාපනයට

දිනය – 2002 ජූලි 5

දුර ප්‍රමාණය – කිලෝමීටර් 198

පිටත්වන වේළාව – උදෑසන 5.00 ගමන් ගන්නා වාහන – බස්රථය හා ජීප් රිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීහු යුද හමුදා මුරපොලවල් සහ මායිම් හරස් මාර්ගයන් හි දී අපේ ගමන පහසු කළා පමණක් නොව, අපගේ මුළු කණ්ඩායමට උදෑසන ආහාරය ලබා දීමට ද කාරුණික වූහ. ‘කොටි’ සමඟ එවැනි විධිවිධාන සකස් කළ නොහැකි නමුත් අපි ගමන් කරමින් සිටියේ කතෝලික පූජකයෙකු සමඟ වන බැවින් අප කණ්ඩායමට ඔවුන්ගේ මුරපොලවලදී ප්‍රියමනාප සැලකීමක් බලාපොරොත්තු වූයෙමු. අපේ එම අපේක්ෂා ඉටු වුණි ද?

මෙහිදී අපගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් ද මෝටර් වාහන ආදායම් බලපත්‍රයේ පිටපත් සහ රක්‍ෂණ සහතිකවල පිටපත් ද ඔවුන්ට බාර දීමට අපට සිදු විය. එම ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ඔවුන් අපට “කොටි භූමිය” වෙත ඇතුළු වීමට අවසර බලපත්‍රයක් ලබා දෙන ලදී. ගරු ගිල්බර්ට් පියතුමාට ප්‍රියමනාප සැලකීමක් හිමි වූ අතර එම නිසාවෙන් අපට ද මෙම දේශ මායිම් තරණය සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදු නොවීය.

බිම් බෝම්බ පුපුරා යාමෙන් සමහර ස්ථාන වල විශාල ආවාට සහිත මාර්ගය කැඩී යාම හේතුවෙන් යාපනය දෙසට යන වාහන ගමනාගමනය සමහර ස්ථානවල නතර විය. හානියට පත්ව තිබූ නිවාස සහ ආගමික ප්‍රතිමා ද එහි ඕනෑ තරම් දක්නට තිබුණි.

අපි චාවකච්චේරි නගරයට ඇතුළු වන විට මිනිසුන් වැඩි ප්‍රමාණයක් සිටි නමුත් සිවිල් යුද්ධයෙන් සිදු වූ හානිය සෑම තැනකම දක්නට ලැබුණි. අනුරාධපුරයේ සිට පැය 12 කට ආසන්න වේලාවක් ගත වූ දුර ගමනකින් පසු අප ළඟා වූ යාපනය උතුරුකර නගරය වන අපේ ගමනාන්තයට තවත් කි.මී. 10 ක දුරක් යා යුතු විය. නමුත් එය යුද්ධයෙන් පීඩාවට පත් වූ කලාපයේ වෙසෙන මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපාය කෙරෙහි බලපෑ ත්‍රාසජනක හා අමතක නොවන දසුන් වලින් පිරුණු ගමනක් වූ අතර, එම දුක්බර දර්ශන ඉතා කණගාටුදායකය!

ඉහතින් පෙනෙන ඡායාරූපවලින් නිරූපණය කරන්නේ බිම් බෝම්බ වළ දමා ඇති භූමි සීමා ප්‍රදේශ දක්වා ඇති ආකාරය යි. එම භූමිවලට ඇතුළුවීම ඉතා අනතුරුදායක බැවින් එහි පා නොතබන ලෙස මින් අවවාද කර ඇත.

යාපනයේ දින දෙකක ක්‍රියාකාරකම් තිබුණි. පැවැත්වුණු රැස්වීම්, සහභාගිශීලීත්වය, එකට එක්ව ආහාර ගැනීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙය වූ සාමය ගොඩනැගීමේ සැසි යනාදිය ඊට ඇතුළත් වුණු අතර, ඒවා ඊට අදාළ පරිවර්තන සමඟ දෙමළ හා සිංහල භාෂාවෙන් පැවැත්විණි. යාපනයේ වෙසෙන අපේ මිතුරන් විසින් මෙහෙයවනු ලැබ එහි සමහර වැදගත් ස්ථාන නැරඹීමට ද අපට කාලය හා අවස්ථාව ලැබුණි. අනුරාධපුරයේ සිට යාපනය බලා ගිය ජනතාව යාපනයේ සිටි මිනිසුන් විසින් රැකබලා ගනු ලැබූ අතර සමහරුන්ට ඔවුන්ගේ නිවෙස් වල නවාතැන් හා ආහාරපාන ද ලබා දුණි. මෙය සාමය ගොඩනැගීම සඳහා ඉතා සුහදශීලී පිළිගැනීමේ පියවරක් වූ අතර, සමහරුන්ට සන්නිවේදනය දුෂ්කර වූවත් සමීප සබඳතාවක් වර්ධනය කර ගැනීමක් විය. මීට පෙර එවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කර නොතිබුණි.

යාපනයේ අප ගත කළ දෙදිනට පසුව ආපසු පිටත්ව යාමට නියමිත කාලය පැමිණ තිබුණි. නමුත් ඒ වන විටත් නුදුරු අනාගතයේ මෙවැනි තවත් ක්‍රියාකාරී උත්සාහයන් ඇතිවනු සඳහාත්, යාපනයේ කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණීම සඳහාත් යුද්ධයක් නැවත ඇතිවීමෙන් ඇති විය හැකි විනාශය වැලැක්වීම සඳහාත් සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන තිබුණි.

බොහෝ දෙනෙකුට කඳුළු ගෙන දුන් සමුගැනීම

යාපනයේ අප ගත කළ කාලය කෙටි වුවත් එහි සිටි වැසියන් සමඟ ගොඩනැගුණු සුහදශීලී සබැඳියාව හා සිත් බැඳීම හේතුවෙන් ඔවුන්ට සමු දී ආපසු පැමිණීම ඉතා සංවේගී අනුවේදනීය අවස්ථාවක් විය. ඔවුන් අපට සමුදීම බොහෝ දෙනෙකුගේ දෙනෙත් අගට කඳුළු බිඳුවක් ගෙන ඒමට සමත් විය.   

යුද්ධය හැකි විගසින් අවසන් ව උතුරේ සහ දකුණේ මිනිසුන් එකම රටක පුරවැසියන් එකම ජාතියක් ලෙසින් නිදහසේ හමුවිය හැකි වනු ඇතැයි යන්න උතුරේ පටන් දකුණ දක්වා සැමගේ බලාපොරොත්තුව විය.

එනමුත් පසුව යුධ විරාමය බිඳ වැටී යුධමය වාතාවරණය නැවත උත්සන්නව තිබූ තත්ත්වය වඩාත් නරක අතට වෙනස් විය…එබැවින් වර්ෂ 2009 මැයි මස යුද්ධය අවසන් වීමෙන් අනතුරුව පමණක් යුද්ධයෙන් විනාශයට පත් උතුරට නැවත වරක් ගොස් සිදුව ඇති හානිය මගේ ම දෙනෙත්වලින් දැක බලා ගැනීමට මට හැකියාව ලැබුණි.

Translation by: Mr Clement Ruberu

You can also check on my other SINHALA BLOG stories on this link below:

‘SINHALA BLOG

You also might be interested in watching some of our other photo gallery links are given here : ‘WAR FRONT – 1’‘WAR FRONT – 2’ / ‘PHOTO GALLERY – PICTORIAL JOURNEY OF SURGERY’ / ‘MY LIFE’ / ‘SPORTS’

Our Video gallery link: ‘Video Gallery’

You can also check on my other SINHALA BLOG stories on this link below:

‘SINHALA BLOG

You also might be interested in watching some of our other photo gallery links are given here : ‘WAR FRONT – 1’‘WAR FRONT – 2’ / ‘PHOTO GALLERY – PICTORIAL JOURNEY OF SURGERY’ / ‘MY LIFE’ / ‘SPORTS’

Our Video gallery link: ‘Video Gallery’

Leave a Reply